Tuesday, August 19, 2014

සිරිපාල සහ පොල් පැලය..

කළුවර වැටෙන්නට කලියෙන් තමාට මේ කාර්යය නිමකරීමට හැකිවේයැයි සිරිපාල සිතුවේය. ඔහු දෑත ඉක්මන් කරමින් වටා පිටාවේ ඇති  පස් උදැල්ලෙන් අදිමින් පොල් පැලය වටා පුරවන්නට විය.

වසරෙන් වැඩි කාලයක් නියගය රජයන පහල ඌවේ කර්කෂ මහ පොලව සමග සිරිපාල ඕට්ටු වනුයේ පනස් වසක පමන සිටය. තම පියාගේන් උරුමව ලැබුණු මේ අක්කර හතරක පමන වූ මහ පොලව මෙතුවක් කල් සිරිපාලගේ පවුල ජීවත් කරවන්නට සමත්විය. වයස අවුරුදු විසිදෙකක දියණියක්ද වයස අවුරුදු දහ නමයක හා දහසයක පුතුන් දෙදෙනෙකු ගේ ද පියකු වූ සිරිපාල. ගමේ ගොඩේ එතරම් කතාබහ නොවන චරිතයක් විය. සති පොල තිබෙන දිනයේ එලවලු ගොණියක් කරගසාගෙන පොළට යාමත් මාසෙකට දවස් දෙක තුනක් ගුණේ ගේ කසිප්පු වාඩියට බඩගෑමත් ඇරෙන්නට සිරිපාල තම නිවසින්, ඉඩමින් එලියට ගියේ කලාතුරකිණි,

සිරිපාලගේ ඉඩමේ දෙපසකින්ම ඇත්තේ කැළයයි. කටුපිල ගස් වලින් හෙබි එම කැලෙයෙහි විශාල ගසකට ඇත්තේ අතරින් පතර වැවී ඇති කොහොඹ ගස් පමණී. මෙම කැලයත් සිරීපාලගේ ඉඩමෙහි එක් මායිමකුත් අතරින් අඩි පාරක් ඇත. සිරිපාලගේ ගමත් අල්ලපු ගමත් අතර කෙටිම මග කැලය තුලින් ඇති මේ අඩි පාරය. නිතර තනි අලියා ගැවසෙන බැවින් හිත හයිය පිරිමියකු උවද මේ අඩි පාරෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.

මෙම ඉඩමෙහි තවත් මායිමකට වන්නට ඇත්තේ ගුරු පාරය. ගුරු පාර අයිනට වන්නට සිරිපාල තම නිවස ඉදිකර තිබිණ. එම නිවස පිහිටි බිම් කොටස ඇරෙන්නට ඉඩමෙහි අනෙකුත් සියළු ඉඩකඩ විවිධ වර්ගයේ බෝගයන් ගෙන් වසා තබන්නට සිරිපාල සමත් වී ඇත.

--  --  --
ගමේ ගොඩේ ජීවත් වූවන් අතර පියරත්න චන්ඩියෙකු විය. මිනී මැරුමකට වැරදි කරුවී වසර ගනනාවක් සිරගෙයි ගතකල පියරත්න සිරෙන් නිදහස් වී ගමට පැමිණියේ මීට වසර එකහමාරකට පමන පොරොතුවය.  ගමේ ගොඩේ හොරෙන් හොරෙන් වැවෙන වවන කංසා එකතුකර නගරයට පැටවීමත් සතියකට වරක් වත් දඩයමේ යාම මොහුගේ ජීවනෝපාය විය.  සැබැවින්ම පියරත්න ගමෙහි ගනං කාරයකු විය. ඔහුට පිටින් ගමෙහි එක කංසා හේනක්වත් නොවැවින.

හිරේ විලංගුවේ වැටීමත් සමග ගමේන් ගිය පියරත්නගේ බිරිය සහ දරු දෙදෙනා නැවත කිසිදිනෙක ගමට නොආවේය. ගමට ආ පසු ඔවුන් කොහිදැයි සොයන්නට පියරත්නට ද උවමනාවක් නොවිණි. මේ වසර එක හමාර ඇතුලත ගමෙහි ගැටිස්සියන් කිහිප දෙනෙක්ම පියරත්න අතින් සල්ලං වී ඇති බව ගමටම නොරහසකි. පියරත්නට ගැහැණියක සමග ඉන්නට සිතුනහොත් හොදින් හෝ නරකින් තම සිතැඟි ඉටුකරන්නා බව ගමෙහි සියල්ලෝම දනිති. සියල්ලන්ටම වඩා සිරිපාල දනිති.

--  --  --
කරමින් සිටී කාර්යය මදකට නතර කල සිරිපාල හවස ගෙනා කසිප්පු බාගයෙන් උගුරක් කටට හලා ගෙන නැවතත් පොල් පැලය සිටුවීමෙහි නිරත විය. මේ අතර සිරිපාලට අතීතය මෙනෙහි වන්නට විය. වසර අටකට පමන පෙර ඒ දිනය අද මෙන් සිරිපාලට මතකය. එවකට දා හතර හැවිරිදි වියේ පසුවූ සිරිපාලගේ  දියණිය ලොකු ලමයකු වී සමසක් ගතවන්නට ඇත.

නියගය නිමවා වැසි වසින්නට පටන් ගෙන දින කිහිපයක් ගතඋනා පමණී. සිරිපාලත්, බිරිඳත් ලහි ලහියේ වගා කටයුතු සඳහා අවැසි බිම සකස් කරන්නට විය. එවකට පොඩි උන්ව සිටී සිරිපාලගේ කොල්ලන් දෙදෙනා කොල්ලන් සමග සෙල්ලමේ ගොසින්ය. නිවසෙහි ඉතිරිව ඇත්තේ සිරිපාලගේ වැඩිමහල් දියණිය පමණී.

යක්ෂයාගේ හෝරාවට ආශිර්වාද කරමින් වැහිබරව තිබූ අහසින් එකවරම මහ වැස්සක් වැටෙන්නට විය. හේනේ බිම් සකසමින් සිටී දෙදෙනාට නිවසට යාමට තරම් කාලයක් නොතිබිණ. හේනෙහි ඉදිකර තිබූ අතුපැල වෙත දිව ගිය ඔවුන් වැස්ස තුරල් වනතුරු බලා සිටියේය. අහස ගිගුම් දෙමින්, අකුණු එලි දල්මින් පෑ බාගයක් පමන මහ වැසි ඇද හැලුණි.

නිවසට පැමිණි ඔවුන් හට දක්නට ලැබුනේ නිරුවතින් සිහිසුන්ව බිම වැටී සිටී ඔවුන්ගේ දියණියයි. ඒ වන විට යක්ෂයා අහිංසක දියණිය බිලිගෙන තිබුණි. ඇගේ කෑ ගැසීම මහ වර්ෂාවෙහි ගිගුම් නද පරයා යන්නට අසමත්ව තිබිණි.

මහ පොලව නූහුලන මේ අපරාධය ගැන ඔවුන් පොලිස් පොතෙහි සටහන් තැබීය. නමුත් පොලීසියේ දී ඔවුනට විශේෂයනේ දියණියට ලැබුනේ සාධාරණය වෙනුවට ඔවුන් අසන ගැටළු වලට විලියෙන් සැඟවෙන්නටය. ඉන්ම ඔවුන්ගේ පැමිණිල්ල අහකට විසිවුනි. විත්තිකරු වූ පියරත්න චෝදනා වලින් නිදහස් විය.

ගම පුරා සිද්ධිය ආරංච් වී තිබූ බැවින් පාසැලේ දී ඇයට අසන්නට ලැබුනේ පතොක් කටු වැනි වදන් ය. ඒවාට මුහුණ දෙන්නට තරං ඒ පුංචි සිත සවිමත්ව නොතිබිණි. එහෙයින් ඇගේ පාසැල් ගමනද එතැනින්ම හමාර වියල. අවසානයේ බදුල්ලේ සිටින සිරිපාලගේ අයියලාගේ නිවස ඇයට නවාතැන විය. දැන් ඇය ඇඟලුම් කම්හලක රැකියාවට යයි.

දියණියට සිදුවූ මේ අකටයුත්තෙන් පසු සිරිසේන ජීවත් වූයේ සම්පූර්ණ පරාජිතයකු ලෙසය. නීතියෙන් ඔවුනට පිළිසරණක් නොවිණ. චන්ඩි කමින් පියරත්නයා මෙල්ල කරන්න යාම තම පවුලටම මරණය ලඟාකර ගැනීමක් වැනිය. ඉදහිට හෝ දියණිය නිවසට පැමිණි දිනක ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් ශක්තියක් ඔහුට නොවිණ. තමා ඇයට සාධාරණයක් ඉටු නොකල නිකංම නිකං නිකමකු යැයි ඔහුට සිතුණි.

පියරත්න මිනීමැරුමකට චූදිතයකු වී වසර ගානක් හිරේට වැටුනු එක සිරිපාලට මහත් සැනසිල්ලක් විය. නමුත් මීට අවුරුදු එක හමාරකට පමන පෙර නැවත ගමරට බලා පැමිණි පියරත්න දුටු විට සිරිපාලගේ සිත නැවතත් නොසන්සුන් වන්නට විය. පියරත්න දකින දකින වාරයක් පාසා සිරිපාලට තම දියණිය සිහිවන්නට විය. සිරිපාලට වාවාගන්නට නොහැකි කාරණය වූයේ තම ඉඩම අසලින් කැලයට යන අඩිපාර කිසිඳු චකිතයකින් තොරව පියරත්න ගමන් බිමන් සඳහා යොදාගැනීමයි.

පොල් පැලය සිටුවා අවසන් කල සිරිපාල, කසිප්පු වඩියේ අන්තිම උගුරු කීපය හිස්කර, හොඳින් කාරා පොල් පැලය දෙසට "තුහ්.. " ගා කෙල පහරක් ගසා උදැල්ලද කරට ගෙන ඉක්මන් ගමනින් නිවස දෙසට ඇදුණි.

Friday, August 8, 2014

මිතුරු තෙමෝ............

එක දවසක්,
බෙලිහුල්ඔය,
"පර්ල්" එකේ...
උඔත් එක්ක හතර දෙනයි..
හිම්න් හිම්න්,
හිස් කරනවා..
හදිස්සියිද මන්ද උඔට.,
අපිට වඩා උඔ ගන්නවා..
රෑ දහයයි,
මෙව්වා දෙකයි..,
ආයේ එන්න,
බස් කෝ දැං..
පයිං යනවා ගී කිය කිය..

"කේලම තොපි දන්නවාද ?"
"ගුණේ" රහට අපිට කියන,
මොකක්ද බං..
"සනහස සඟවා දෙනෙත නුරාවෙන්....."
තාල මරං උඔ ගයනවා,
හිටිගමන්ම,
"සනහස යනු කුමක්ද බං..."
උඔ අහනව..
"අනේ මන්දා" අපි කියනවා..

තව ටිකකින්,
ෆෝන් එකත් තුරුල් කරන්,
උඔ දුවනවා අපි පෙරලන්..
පතබෑවුනා මහපාරේ.,
"ජබොග්" ගාලා..
අපි දුවගෙන ලඟට යද්දි..
උඔ කියනවා,
"සික්ස්ටීන් ටු ටෙන්, සබ්රා ටීම් වොන්ද මැච්,"
අනේ යකෝ,
උඔ අපිවත් ටකල් කරන්,
රගර් ගහල.......

අනේ මචෝ උඔට වැඩියි,
වදෙන් පොරෙන්,
ඇදන් අැවිත් දැම්මා ඇඳට..
ග්ර්ර්ස්... ග්ර්ර්ස්, ගර්ර්ස්....ගර්ර්ස්..
යන්තං ඇති උඹ නිදි දැං...
අනේ ඉතිං පවු කියලා..
උඹේ ලඟින් මාත් හිටියා..

තව ටිකකින්,
"ඕක්.. ඕක්.."
උඹ කබරයා..
දුවල ගිහිං දේවාලෙට..
බකට් එකක් අරං ඇවිත්..
අස්කෙරුවා, "ඕක්.. ඕක්..."
වතුර එකක් දීල උඔට..
ඇඳට දැම්මා අමාරුවෙන්...

ඒ අස්සේ උඹ කියනවා..
"අනේ මචං මට හරිනෑ... රෑට ටිකක් බලපං බං"
"මේ මොන මල ඉලව්වක්ද"
එහෙම කිව්වේ නැතත් මෙමා,
නිදාගත්තේ වෙනිං තැනක.............



Tuesday, August 5, 2014

පොඩි එකාගේ කථා 02 - පුංචිිි මාමා

"පොඩි එකා මෙහෙවරෙන්.."

"....."

"කෝ කවි ටික පාඩං කරාද?''

"ම්.. ටිකක් පාඩං..."

"කෝ කියපං බලන්න."

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර .. ම්... අ...... අ.....
  ......."

"කෝ තොට ඒකවත් පාඩං නැද්ද, දැං දවස් කීයක් වෙනවද.. මෙහෙවර එළියට වර බූරුවා.."

කිසිත් නොකී පොඩිඑකා වෙව්ලමින් මිදුලට බැස්සේය. පුංචි මාමාගේ දෑස් කෝපයෙන් දිලිසෙනවා පොඩි එකාගේ ඇස ගැටුණි. ඒ දෑස් මගහරින්නට පොඩි එකා බිම බලා ගත්තේය.

"ගහපිය දන.."

ඒ අණට අවනත වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් නැත, පොඩි එකා බොරළු පොලෙවේ දණ ගසා ගත්තේය.

"දැං හයියෙන් පාඩං කරපන් කවිටික, මං එනකං ඔතනින් නැගිටින්න බෑ"

පාඩං පොත අතටගත් පොඩි එකා කවි කටපාඩං කරන්නට විය..

" සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානං...
  සත් හට වන බව දුකට වෙදානං...
  තිත් දන දුර දුරු ලන නිති දානං..
  සිත් සතොසින් නමදිම් මුණිදානං.."

තුනේ පන්තියේ දෙවන වාරවිභාගය අවසානයේදී පොඩි එකා ගිය ගමේ ඉස්කොලේ පංති බාර මිස් තම මවට පවසා ඇති දෙය නිසා දැං පොඩිඑකාට ගුටි තැලුම් කන්නටත්, එලෝකෝටියට බැනුම් අහන්නටත් සිදුව අැත.. ඉස්කොලෙ නිවාඩු දෙන දවසේ පාසැලට ගිය අම්මාට පංති භාර මිස් පවසා ඇත්තේ.

"මේ ලමය මේ අවුරුද්දේ මේ විදියටම ඉගන ගත්තොත් ලබන අවුරුද්දෙත් මේ පංතියේම තමයි තියන්න් වෙන්නේ" යනුවෙනි.

මේ ප්‍රකාෂයන් ත්‍රස්ත්‍රවූ පොඩිඑකාගේ අම්මා ඉස්කෝල නිවාඩුව අවසාන වූ විගස පොඩිඑකා ගමේ පාසලෙන් අස් කර, ඇගේ සොහොයුරාගේ එනම් පොඩි එකාගේ මාමාගේ නිවසෙහි නතර කර ඒ අසල පාසලකට ඇතුලත් කරනලදී.

දැං මේ පොඩි එකාට දස වද දෙනේනේ පොඩි එකාගේ පුංචි මාමාය. උදේ පාන්දර හතරට කූද්දයි නැත්තං සීතල වතුර පාරක් කන්න වෙනවා ශුවර්ය. පොතේ පාඩම් කියවන්න කියයි. වැරදුනු විට "චටාස්" ගා අතුල් පහරක් දෙයි. පිටපත් ලියන්න කියයි. වචනයක් වරැද්දුවගොත් නැවත මුල සිටම ලියවයි..

පොඩි එකාට අමාරුම වැඩේ චක්කරේ පාඩං කිරිල්ලය, එකක් වැරදුනහොත් එලව එලවා පහර දෙයි, හීන් තිරිවානා ගල් කැටයක් කංපෙත්තට තබා ඇඟිලිවලන් තදකරයි. නැගෙන කඳුළු බිඳු වලට නිදහසේ වැටෙන්නට ඉඩහැර පොඩි එකා නැවතත් පාඩං කරයි..

මොන දන්ඩ නීති තිබුනත් පුංචි මාමාත් එක්ක ගමන් බිමන් යන්න පොඩිඑකා බොහෝ ලැදිය. මන්ද ටවුමේ හොටයකට ගොඩවැදී බනිස් ගෙඩියක්, වියන්රෝල් එකක් කා ප්ලෙන්ටියක් ලැබෙන බැවිනි. ප්ලේන්ටිය බී අවසානයේ පුංචි මාමා සිගැරැට්ටුවක් ගෙන්වාගෙන එය දල්වා ගනී. පුංචි මාමා ගෙදරදී බොන්නේ "සැප සුරුට්ටුය" ඒවාද ජනේල් පඩිය උඩ තබා හීනියට ලියා කඩදාසි කොලයක ඔතාගෙනය. පුංච් මාමාගේ සුරුට්ටු ලියවිල්ල නිසා ජනේල පඩියද දුන්නක හැඩයට කැපී ගොස් තිබිණි.

පුංචි මාමාට දරුවන් සිටියේ නැත. එබැවින් ඔහු පොඩි එකාට දරුවෙකුට මෙන් සැලකුවේය. ස්ථිර රැකියාවක් නොකල ඔහු, දින දෙකකට හෝ තුනකට වරක් කොහෝ හෝ කුලී වැඩකට යයි, ඒ මුදල් වියදම් වී අවසන් වූ පසු නැවතත් වැඩට යයි. රකින්ට දරුවන් නොසිටී ඔහු රැකි ධනයක්ද නැත.

පුංචි මාමා නිදාගත්තේ සාලයේ තබා ඇති ලනු ඇඳකය, එතැන බිම පැදුරක පොඩි එකාද නිදාගනී, සමහර දිනවල රාත්‍රියේ මාමා, පොඩි එකාට අතීත කතන්දර කියාදෙයි, පුංච් මාමාගේ එක් පුරුද්දක් පොඩි එකාගේ සිත් තදින් පැහැර ගත්තේය. එනම් රාත්‍රියේ දී නොනවත්වා එක දිගට පඩ යැවීමයි. මේවා ගනන්කිරීම පොඩිඑකාගේ විනෝදාශයක් විය.

මුලින් මුලින් දස වද දුන්නත් පොඩිඑකා පාසැල් වැඩවල යම් වර්ධනීය මට්ටමකට ආ පසු පුංචි මාමා ගේ දඬුවම් ලිහිල් විය. වසර තුනකින් පසු පොඩිඑකා නැවතත් ගෙදර ආවේය. ඒ එම පාසලේ සිටී දීප්තිමත්ම සිසුවෙකු ලෙසිනි. එහි සියළු ගෞරව පුංචි මාමාට හිමිවිය යුතුය.

පොඩි එකා උසස් පෙළ ලියා ගොඩ දාගත් දවසේ ස්වීට් බනිස් ගෙඩියක් සහ කෙහෙල් ඇවරියක් පත්තර පිටුවක ඔතාගෙන පුංචි මාමා ආවේය. එය පොඩිඑකා ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ පත්තර පිටුව හා බනිස් කවරය තාමත් පොඩි එකා සතුව ඇත. 

පුංචි මාමා..

* * * *
ගිය මාසේ අන්තිම සතියේ පොඩි එකාට අම්මා කථාකළාය.

"පුතේ පුංචි මාමා නැතිවෙලා..."

----------------------------
ප/ලි..
සමාවෙන්න, බොහෝ දේ ලියන්නට සිතා සිටියත් කිසිවක් ලියාගත නොහැක.. හිතේ දුක තුනීකරගන්න ලියමනක්, කථාවක් නොවේ...